ගම්මැද්දේ කළාලය – ජූලි මස වැඩසටහන පැවැත්වීම
————****——–
ඌව පළාතේ ජනතාවගේ ජන ජීවිතය සමෘද්ධිමත් කරන ආධ්‍යාත්මයෙන් උසස් අභිමානවත් අදීන ජන සමාජක් ගොඩනැගීමේ අරමුණින් ඌව පළාත් සභාවේ මෙහෙයවීමෙන් රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාව සංවිධානය කරන ගම්මැද්දේ කළාලය වැඩසටහනේ හය වන අදියර විශේෂාංග රැසක් සමඟින් 2026.07.31 වන සිකුරාදා දින මහගම මහා විද්‍යාලයේ දී පවත්වන ලදි.
න්‍යාය පත්රානූකූලව
* ජාතික කොඩිය එසවීම හා ජාතික ගීය ගායනය
* ඌව පළාත් ගීතය ගායනය කිරීම
* ගම්මැද්දේ කළාලය තේමා ගීතය ගායනා කිරීම
* පොල්තෙල් පහන දැල්වීම
* ආගමික වතාවත් සහ අනුශාසනය සිදු කිරීම
සිදු කිරීමෙන අනතුරුව, රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාවේ ගරු මන්ත්‍රී එම්.ඩී.ධර්මපාල පෙරේරා මැතිතුමා විසින් පැමිණ සිටි පිරිස පිළිගැනීම සහ වැඩසටහනෙහි අරමුණ පැහැදිලි කිරීම සිදු කරන ලදි.
මෙම වැඩසටහන සම්බන්ධව ඌව පළාතේ ප්‍රධාන ලේකම්තුමිය විසින් සිදු කරනු ලබන පැහැදිලි කිරීම වීඩියෝපටයක් ඇසුරින් එළිදැක්වීම සිදු කරන ලදී.
අරාව පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන් කුමාර මහතා මත්ද්‍රව්‍ය භාවිතය හා එහි අහිතකර ප්‍රතිඵල පිළිබඳ තම අත්දැකීම් ඇසුරින් දේශනයක් පවත්වන ලදි.
බල ප්‍රදේශයේ දරුවන්ගේ කලා කුසලතාවය පෙන්වීමට අවස්ථාවක් ලබාදීම මෙම වැඩසටහනේ ප්රමුඛ අරමුණකි. ඒ අනුව නූරංගා කලායතනය විසින් නර්තනාංග 02ක් ඉදිරිපත් කළ අතර මෙම නර්තනය රැස්ව සිටි සියලු දෙනාගේ නොමද ප්‍රශංසාවට ලක්විය.
කසල සම්පතකි එය මනාව කළමනාකරණය කරමු යනුවෙන් කසළ කළමනාකරණය පිළිබඳ දැනුවත් කිරීම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ලක්මිණ වසන්ත මහතා විසින් සිදු කරන ලදි.
ජනතාවගේ අයිතීන් සුරකමින් නීතියට අනුකූලව ක්‍රියාකරමින් සුපිළිපන් රාජ්‍ය සේවයක් ගොඩනඟාගැනීමේදී ඒ සඳහා දේශපාලනඥයින්, රාජ්‍ය සේවකයින් හා මහජනතාව කෙසේ තම දායකත්වය ලබාදිය යුතුද යන්න පිළිබඳව රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති ඩබ්.එම්.නන්දසිරි වික්‍රමසේකර මැතිතුමා විසින් දේශනයක් සිදු කරන ලදී.
දරිද්‍රතාවය නිසාවෙන්ම සාමාජීය වශයෙන් මුළුගැන්වෙන ශිෂ්‍යයෙකුගේ සැබෑ දක්ෂතාවය හඳුනාගන්නා පරමාදර්ශී ගුරුවරයෙක් එම දරුවා ජයග්‍රහණය කරා රැගෙන යන ආකාරය පිළිබඳව කියැවෙන පත්තර කොළුවා කෙටි චිත්‍රපටය නැරඹීමට මීලඟට අවස්ථාව උදා වූ අතර රැස්ව සිටි පිරිස මහත් උනන්දුවෙන් එම අවස්ථාව හා සම්බන්ධවිය.
එම අවස්ථාවට සම්බන්ධ වී සිටි පිරිස අතුරින් ගායනා හැකියාව සහිත පුද්ගලයින් සඳහා අවස්ථාව වෙන් වූ අතර ගායන හැකියාව සහිත බොහෝ පිරිසක් හඳුනාගැනීමටද අවස්ථාව උදා විය.
ඉන් අනතුරුව සුපුරුදු පරිදි ගීත රසවින්දන වැඩසටහන පැවැත්වූ අතර එය මෙහෙයවනු ලැබුවේ ඩබ්.එම්.නන්දසිරි වික්‍රමසේකර මහතා සහ සංස්කෘතික නිළධාරී ධම්මික රිටිගහකුඹුර මහතා විසිනි.
අනතුරුව ගිනිමැල සංදර්ශනයක් හා සාම්ප්‍රදායික හේවිසි වාදන සහිත බෙර සංධ්වනියක් පැවති අතර එය ඉතා විචිත්‍රවත් අංගයක් විය.
මෙම වැඩසටහන හා සමගාමීව ප්‍රදේශයේ වන අලි තර්ජන ඇති අනාරක්ෂිත ස්ථාන කීපයක වීථී ලාම්පු සවිකිරීම හා අළුත්වැඩියා කිරීම දිවා කාලයේ සිදු කළ අතර, බල ප්‍රදේශයේ ජනතාවට පවතින ගැටළු අප වෙත ඉදිරිපත් කිරීමට හැකි වන අයුරින් විශේෂ කවුළුවක්ද වෙන් කර තිබුණි.
මෙම අවස්ථාවට රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති නන්දසිරි වික්‍රමසේකර මැතිතුමා, ගරු මන්ත්‍රී එම්.ඩී.ධර්මපාල පෙරේරා මැතිතුමා, රිදීමාලියද්ද හා අරාව යන පොලිස් ස්ථානවල පොලිස් ස්ථානාධිපති තුමන්ලා, මහවැලි අධිකාරියේ කොට්ඨාස කළමනාකාරතුමා, මහගම මහා විද්‍යාලයේ විදුහල්පති තුමා, රිදීමාලියද්ද පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ලක්මිණ මහතා, මහගම වසමේ ග්‍රාම නිලධාරී තුමිය, මහගම පෙර පාසලේ පාලිකාතුමිය, සංස්කෘතික නිළධාරී ධම්මික රිටිගහකුඹුර මහතා,රිදීමාලියද්ද ප්‍රාදේශීය සභා කාර්ය මණ්ඩලය, අනෙකුත් රාජ්‍ය නිළධාරීන්,ප්‍රදේශයේ පාසල් වල දරු දැරියන් සහ ප්‍රදේශවාසීන් සහභාගි විය